ඇස් ලගින ඇත්ගාල...
කන්ද රට ඇත් පංතිය


ශ්‍රී දළදා මාලිගාව සතුව සද්දන්ත කුලයේ අලි ඇතුන් 12 දෙනෙකුගේ අලි පංතියක් වේ. එයින් 9 දෙනෙකු ම ඇත් කුලයට අයත්ය.
ස්වභාවික පරිසරයක අලි ඇතුන් රැක බලා ගැනීම අභියෝගයකි. එහෙත් එකී පරිසර සාධක උපයෝගීව නිවැරදි ක්‍රමෝපා පිළිපදිමින් ලොවට ම ආදර්ශවත් ව දළදා මාලිගාවේ ඇත් පංතිය පාලනය වේ.
මේ අලි ඇත් පංතියේ පහසුව පතා අලි ඇත්තු දෙදෙනා බැගින් එකවර හය දෙනෙකු දිය කෙළියට දැමිය හැකි විශාල ජල පොකුණු 3ක් සහ අලි ඇත්තු 12කට ගාල් විය හැකි ඇත්ගාලක් දළදා පොළවේ බිහි විය. එය පෙරහැර කාලයේ දී මාලිගාවට පැමිණෙන ආගන්තුක අලි ඇත්තුගේ ද දාගිනි නිවන යාළුවෝ හමු වන දිය මංසලකි.
පෙරාතීතයේ දී රජතුමාගේ ඇත් පංතිය දළදා මාලිගාවේ ද ඇත් පංතිය විය. රජ කාලේ ගල් වැද්දන් අලි ඇත්තු ඇල්ලීය. ඒ අලි ඇත්තු පනික්කියන් ගාල් කළේය. ඉංග්‍රීසි අධිරාජ්‍යයට කන්ද උඩරට රාජ්‍යය යටත් වීමත් සමඟ රාජකීය ඇත්ගාල අතුරුදන් විණි.එබැවින් දළදා මාලිගා අලි ඇත්තු ගස් යට ගාල් වී අසරණයන් ව සිටියේය.
දළදා මාලිගාවේ චිරපතළ රාජා ඇතා රෝගී වූ විට මාලිගාවේ පළමු වරට අලි මඩුවක් හැදුණේය. එය නොවන්න රාජාගේ කලදවස ගෙවී ගියේ ද අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් ගස් යටය. දළදා මාලිගාවේ පින්සාර තේජවන්තයෝ වන මේ අලි ඇතුන්ට අලි ගාලක් හදන්න නිලංග දෑල දියවඩන නිලමේ පියවර ගැනීය.
රාජ්‍ය නොවන සංවිධාන හීලෑ අලි ඇත් හාම්පුතුනට සත්ව හිංසනය ගැන අභූත චෝදනා එල්ල කළ ද පෙරහර අලි ඇතුන් සංස්කෘතිය රැක ගන්න නිලංග දෑල දියවඩන නිලමේ ගන්නා මේ ධෛර්යය ඇවිදින් දැක බලා ගත යුතුය.
මෙම ප්‍රයාමයෙහි සත්‍ය – අසත්‍ය බව මහජනතාවට සහ පාසල් දරුවන්ට සියැසින් ම දැක බලා ගැනීමේ දුලබ අවස්ථාව දැන් විවෘත කර ඇත.