සබඳ අපි කඳු නොවෙමු...
ජනසරණ

සමාජීයව උසස් තැනක සිටින රටක් ජාතියක් ලෙස ශ්‍රි ලංකාව ගැන සිතුවත් එය එසේ ම දැයි ප්‍රශ්න කර බැලිය යුතුය. විශිෂ්ට ඉතිහාසයක්, ගෞරවාන්විත සංස්කෘතියක් ලාංකිකයන් සතු ය. එහෙත් සමාජීයව සහ ආර්ථිකව ලෝක දර්ශකවල පසුගාමී රටක් ලෙස සව්සිරි සපිරි ලංකාව සැලකෙයි. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නොමිලේ ලබා දෙන ලොව ඇති සීමිත රටවල් අතර ලංකා භූමියත් වේ. එසේ වූවත් රජය විසින් සිදු කරනු ලබන සමාජ සවිබලගැන්වීම් රට ඉහළට ගෙන යන්න ප්‍රමාණවත් වී නොමැත.
බොහෝ රටවැසියන් සිය අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමේ දී විවිධ දුෂ්කරතාවලට ලක් වේ. සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස යනාදී යටිතල අවශ්‍යතා ද ඒ අතර වීම සංවේගය ගෙන දෙන්නකි. මෙවැනි විවිධ දුෂ්කරතාවලට ලක් වන අසරණයන්ට සරණක් වීම නිලංග දෑල දියවඩන නිලමේගේ ජීවන දර්ශනයකි. ‘තවෙකෙකු වෙනුවෙන් වෙනෙකෙකු’ උපකාරයට පැමිණෙන තුරු බලා නොසිට ඒ සඳහා පළමුව තමන් පියවර ගත යුතු බව නිලමේ අදහන සත්‍යයයි. එම ප්‍රතිපත්තියේ පිහිටා ශ්‍රි දළදා මාලිගා මුදල් සංචිත ද විවිධ දානපතියන්ගේ ආර්ථික සම්මාදම් ද සිය පෞද්ගලික ධන පරිත්‍යාග ද දියවඩන නිලමේ සොයා පැමිණෙන අනේක විධ ජනතා වුවමනා ඵල ගන්වන්න ‘මාලිගා ජනසරණ සත්කාරයට’ යොදවයි.
සතියේ සෑම බදාදා දිනයක දී ම සරණක් අවැසි මිනිසුන් උදෙසා සිය නිල කාලය ගත කරන නිලංග දෑල දියවඩන නිලමේ විවිධාකාරව අසන්න දකින්න ලැබෙන තොරතුරු පිළිබඳ ව නිසි ලෙස සොයා බලා නෙකාකාර ජනතා ප්‍රශ්නවලට පිහිට ගෙන දෙයි. රෝගීව අසරණ වූවන්ට, ආර්ථික අපහසුතා හේතවෙන් සරණක් අවැසි වූවන්ට, අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරතා සහිත ශාස්ත්‍රාලීන්ට, හිසට වහලක් නොමැති අන්ත දිළින්දන්ට සහ සැබෑ ලෙස උපකාර අවැසි ඕනෑ ම අසරණයෙකුට ශ්‍රි දළදා මාලිගාවේ පිහිට උදා වේ. එය ගිහියන්ට පමණක් නොව භික්ෂු – භික්ෂුණී යති සමාජවලට ද උරුම වේ.
ජාති, ආගම් භේද ශ්‍රි දළදා මාලිගා සත්කාරවලට බලනොපායි. සොයා බලනුයේ සරණක සැබෑ වුවමනාව පමණි. අසරණයන්ට පිහිටට පැමිණීමට පමණක් ම දළදා මාලිගා සත්කාර ලඝු නොවේය. නව නිර්මාණ බිහි කරන්නන්ට, ක්‍රීඩා කෞෂල්‍ය විදහාලන්නන්ට, නව ව්‍යවසායක අවස්ථා සොයන්නන්ට සහ හිතකාමී සත් ක්‍රියාවල යෙදෙන්නන්ට නිලංග දෑල දියවඩන නිලමේගේ පිහිට හා සත්කාර ලැබෙති.