මාලක්කම් නැති පාක්කුඩම්...
පෙරහර කලා ශිල්පී සැලකුම්


කඳුරට දළදා පෙරහර හැඩ කරන්නෝ උඩරට නැට්ටුවෝ හා හීලෑ අලි ඇත් පංතියෝය. එකී සංකලනයෙන් රඟ දෙන දළදා පෙරහර බලන්න දෙස් විදෙස් ජනයෝ පැමිණෙති. කන්ද උඩරට සෙංකඩගල මංගල සිරි ගන්වා හෙළයේ මහා සංස්කෘතික මංගල්ලය ඇසළ මහේ එකොළොස් දවසක් ම නුවර වීදි සැරිසරමින් නගරයට ශෝභමාන පලඳයි. කුඹල්, රන්දෝලි, දහවල් යන කන්දෙ පෙරහරවල් නොබැලූව කෙනෙක් සොයා ගත නොහැක. නගර වීදි වේදිකා කර ගන්න පරම්පරා ගණනක ‘ප්‍රවීණයෝ සහ නවීනයෝ’ පෙරහර ශිල්ප පෑමට පැමිණෙති. දළදා පෙරහර ශිල්ප පෑම මේ ශිල්පීන්ගේ භාග්‍යයක් යැයි සලකති.
දළදා පෙරහරට පැමිණෙන 2000 ක පමණ ශිල්පීන්ගෙන් බහුතරය ඉහළවෙල, මාලගම්මන, මොළගොඩ, උඩුවෙල පනික්කි පරම්පරාවල ශිල්පීන් වේ. මේ ශිල්ප පරම්පරා චාතූර්යය දළදා පෙරහරේ මහාර්ඝ සම්පතය. එකී පාරම්පරික ශිල්පී පරම්පරා රැකගෙන දළදා පෙරහර සම්ප්‍රදායානුකූලව පවත්වා ගෙන යන්න ශ්‍රි දළදා මාලිගය පිළිවෙත් රැසක් ගෙන ඇත. ඒ යටතේ පාරම්පරික ශිල්පීන්ගේ කලායතන සංවර්ධනය කර පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් සැපයීම ද ශිල්පීන්ගේ ශාරීරික යෝග්‍යතා හා පෞද්ගලික අවශ්‍යතා සොයා බැලීම ද දියවඩන නිලමේ පෞද්ගලිකව ම සොයා බලයි. එසේ ම ශිල්පීන්ගේ ඇඳුම් ආයිත්තම්වල සහ උපකරණවල අඩුපාඩු සොයා බලා ඒවා ලබා දීමටත් පිළියම් යොදයි.
පෙරාතීතයේ දළදා පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් පෙරහර සමයේ දී විවේක ගන්නේ හා දිවා රෑ රැඳී සිටින්නේ මඟුල් මඩුවේ හෝ මාලිගා ගොඩනැගිලිවල එළිපත්තේය. මේ ශිල්පීන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරා ගැනීමට හෝ එහි පහසුකම් නොමැති විය. පෙරහර සමයේ ඇති වන අව් වැසිවලින් කලා ශිල්පීන් පීඩාවට පත් විය. එයට පිළියම් ලෙස ඉටිකොළවලින් ආවරණය කළ තාවකාලික ලැගුම් පොළවල් ශිල්පීහු මඟුල් මඩුවේ සකසා ගනිති.
මේ පිළිබඳ අවධානය යොමු කර පෙරහර කාලසීමාවේ දී ශිල්පීන්ට නවාතැන් ගැනීමට සහ පෙර පුහුණුවල යෙදීමට රැකවරණ පියසක් ඉදිකර පහසුකම් සලසාලන්න දියවඩන නිලමේගේ හදවත සංවේදී විය. එසේ ම පෙරහර කාලසීමාවේ දී දවසේ ආහාර පාන තුන් වේලම නිසි පිළිවෙළකට ශිල්පීන්ට නොමිලයේ සපයා දීමට ද පියවර ගැනීය.
පෙරහරට එක්වන වයෝවෘද්ධ, ප්‍රවීණ, බාලක සියලූ ශිල්පීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය සැලකිල්ලට ගෙන පෙරහර සමය තුළ වෛද්‍ය සායනයක් යාවත්කාලීනව පවත්වා ගෙන යෑමට ද මාලිගා පාලනය කටයුතු යොදයි.
පෙරහර ශිල්පීන්ට දක්වන මේ සෑම සත්කාරයක් ම ඒ ආකාරයෙන්ම අලි ඇත්තුට සහ අලි බාස්ලාට ද ලබා දීම නිලංග දෑල දියවඩන නිලමේ පනවා ඇති පැහැර හැරිය නොහැකි නියෝගයක් වේ. පෙරහර නිමා කළ පසුව ශිල්පීන් ඇගයීමටත් දියවඩන නිලමේ පසුබට නොවේය. ඒ දළදා පෙරහරේ පැවැත්මට කලා ශිල්පීන්ගේ අගය මහෝපකාරී වන බව නිලමේ සැබවින් ම හඳුනන බැවිනි.