දුදන වස් කවි හරවන සුදන සෙත් කවි...
පරිපාලන අරුමය හා රාජකාරි නවෝදය

ලොව ඉහළ ම ආකර්ෂණය දිනා ගත් සංචාරක පින් බිමක් ලෙස සහ ලෝක උරුමයක් ලෙස ශ්‍රි දළදා මාලිගාව පත් වී ඇත. වර්ෂ 2005 දී දෛනිකව මාලිගයට පැමිණි සංචාරකයන් ගණන 2000කට නොවැඩි බව දෛනික වාර්තා පිරික්සීමේ දී පෙනී
යයි. එය විසි වසරකට පසුව වර්ෂ 2024 දී දෛනිකව මාලිගයට පැමිණෙන සංචාරක ප්‍රමාණය 15,000 ඉක්මවන ජනතාකර්ෂණයක් බව දෛනික වාර්තා පිරික්සීමේ දී පැහැදිලි වේ. වර්තමානයේ බැතිමතුන්ට හෝ සංචාරකයන්ට හෝ පමණක් නොව විවිධ සමාජීය අවශ්‍යතා සදහා ද දළදා පින්බිම ජාතික භූමියක්ව සමාජ අවශ්‍යතා සපුරාලයි. මේ ස්වභාවය යටතේ අද්‍යතන දළදා මාලිගා පරිපාලනය විධිමත් කිරීම නිලංග දෑල දියවඩන නිලමේගේ අභියෝගය විය.
ඒ අනුව දළදා මාලිගාවේ දෛනික හා වාර්ෂික පූජා කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යෑම, දළදා මාලිගාවේ සමාජ යුතුකම් හා වගකීම් ප්‍රමුඛතා පිළිවෙළකට පෙළගස්වා පිළිපැදීම, සරණක් පතා පැමිණෙන විශාල පිරිසට අවශ්‍ය සහන කටයුතු සම්පාදනය කිරීම දළදා මාලිගාවට ‘දෛනිකව එකතු වන හා ස්ථිරව පවතින’ චංචල හා නිශ්චල දේපොළ විනිවිද කළමනාකරණයක පවත්වා ගැනීම සිදු කළ යුතු අනිවාර්ය රාජකාරි වේ. එකී භාරදූර බව මනාව අවබෝධයට ගෙන නිලංග දෑල දියවඩන නිලමේ ශ්‍රි දළදා මාලිගාවෙන් ජාතිය පතන සේවය සැලසීමට පාරදෘශ්‍ය පරිපාලන ක්‍රමවේදයක් වර්ෂ 2006 ජනවාරි 01 වන දින හඳුන්වාලමින් දේශීය බෞද්ධ කටයුතු අංශය, විදේශීය බෞද්ධ කටයුතු අංශය, අභ්‍යන්තර හා බාහිර නඩත්තු අංශය, ප්‍රවාහන අංශය, මාධ්‍ය විශේෂ ව්‍යාපෘති හා සංවර්ධන කාර්යාංශය යනාදී අභ්‍යන්තර පරිපාලන ව්‍යුහ ස්ථාපිත කළේය. ඒ එකී ව්‍යුහාත්මක පද්ධතිවල කාර්ය භාරය ද නිරවුල් ව පැහැදිලි ලෙස බෙදා පවරාලමිනි. නිලංග දෑල දියවඩන නිලමේ රාජකාරි භාර ගන්නා විට දළදා මාලිගය සතු අලි ඇත්තු විවිධ ගැටලූ හේතුවෙන් බාහිර පාර්ශ්ව වෙත පවරා පැවතුණි. එම අවධිමත් ක්‍රමවේදය කෙටි කාලයක් තුළ බැහැර කර මාලිගා ඇත් පන්තියට ඇතින්නක් ලබා ගෙන අලි ඇත්තු මාලිගා පරිශ්‍රයෙහි ගාල් කිරීමට පියවර ගැනීය. නව දියවඩන නිලමේ දැඩි වීර්යයකින් යුතුව සියල්ල සොයා බලා අභියෝග සහ බලපෑම් පරදමින් පෙර සිටි දියවඩන නිලමේගේ කාර්ය මණ්ඩලය එපරිද්දෙන් ම මාලිගා සේවයට යොදවා ගෙන අවශ්‍යතාව මත පමණක් සුදුසුකම් සහිත පරිණත පිරිස් කාර්ය මණ්ඩලයට බඳවා ගෙන සත්ජන නිලමේවරයෙකුව දළදා රාජකාරි පිරීමට පටන් ගැනීය.
වර්ෂ 2014 සිට දෛනික ප්‍රධාන රාජකාරි නිලධාරියෙකු පත් කර දිනපතා සිදු වන සේවාවල ප්‍රගතිය විමසා බලා නිරන්තරව අවදිමත් දියවඩන නිලමේවරයෙක් ලෙස නිලංග දෑල දියවඩන නිලමෙ පිළිවෙත්හි පිහිටියේය. දළදා මාලිගාවේ සමස්ත කාර්ය මණ්ඩලය සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම, නිල ඇඳුම් ලබා දීම, දෛනිකව ආහාර වේල් තුන ම නොමිලයේ ලබා දීම, රක්ෂාවරණ සහ අන් තැනකට නොදෙවෙනි සේවක සුබසාධන පහසුකම් නව්‍ය මාලිගා පරිපාලන ක්‍රමෝපායේ ප්‍රතිඵල වේ. රාජකාරිකරුවන්ගේ යහපත පමණක් නොව එකී පවුල්වල දරුවන්ගේ උගැනුම් කටයුතු ස`දහා ශිෂ්‍යත්ව ලබා දීම ද සේවක දුකේ දී ඉලක්කම් දෙස නොබලා සරණ වීම ද නිලංග දෑල දියවඩන නිලමේගේ මානව සම්පත් පාලනයේ මානව ප්‍රේමයයි.
දළදා මාලිගා රාජකාරිකරුවන් ස්ථීර වැටුප් හිමිකමක් නොලබන බව පත්වීම් ලද සැණින් දැන ගන්නා දෑල දියවඩන නිලමේ ඒ පසුතැවීම නිවාලන්න ද පියවර ගැනීය.
දියවඩන නිලමේ රාජකාරි භාර ගන්නා විට මාලිගා රාජකාරිකරුවෙකුගේ අවම මාසික දීමනාව රු. 2480.00ක්ව පැවතියේ ය. එම අවම මාසික දීමනාව වර්තමානය වන විට රු. 35,000.00කට පියවරෙන් පියවර පත් කර ඇත. මේ වික්‍රමය කරලන්න හැකියාව ලැබුණේ දළදා මාලිගා ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබීමෙනි. එය සිදු කිරීමට පිළිගත් ක්‍රමවේදයකට සේවකයෝ වර්ගීකරණය කළෝය. ඒ අනුව සියලූ සේවකයෝ මාසික දීමනා තලවල පිහිටවූහ. එමගින් සේවක කාර්යක්ෂම බව සහ රාජකාරි උද්යෝගය ඇති කළේය. එය ආදායම් ලැබීමේ රහස සහ ආදායම් පරිහරණයේ විනිවිද බව විය.
මේ වන විට පූජා පිළිවෙත්වලට සහ විවිධ අවශ්‍යතාවලට මාලිගයට පැමිණෙන උස් මිටි සියලූ ම ජනයෝ ප්‍රමාදයකින් තොරව අපේක්ෂිත අවශ්‍යතා ලබා ගනිති. ඒ පාලකයන්ගේ වරදින් පාලනයෙන් ගිලිහී පෞද්ගලික අවශ්‍යතා මත අයාලේ ගිය මාලිගා පරිපාලනය නිලංග දෑල දියවඩන නිලමේ පත්වීමෙන් පසුව ජනප්‍රිය තීරණ පසෙකට කර නිවැරදි තීරණ ගෙන සිදු කළ වෙනස්කම්හි ප්‍රතිඵලය ලෙසිනි. මේ සත්‍යය හමුවේ රිදෙන පිරිස් වංචනික අවලාද පතුරවා උත්සාහ ගනුයේ පැරණි සෙල්ලමේ යළි යෙදෙන්නය.