නැව් නොනගින රුවල් ගමන්...
ලෝක බෞද්ධ කෞතුකාගාරය


සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාව ලෝකවාසී ජනයාගේ සිත් ගත් ගමනාන්තයකි. දේශීය හා විදේශීය ජනතාවගේ බහුමානයට පමණක් සීමා නොවන මේ පින්බිම තුළ දැක බලා ගත යුතු පෞරාණික ස්මාරක රැසකි. ඒ අතර නිලංග දෑල දියවඩන නිලමේගේ සංකල්පනාවකට නූතනයේ නිර්මාණය කළ ලෝක බෞද්ධ කෞතුකාගාරය ද වේ.
බ්‍රිතාන්‍ය යුගයේ දහවෙනි ආණ්ඩුකාරවර සර් ජේම්ස් ලොන්ඩන්ගේ කාර්යාල සංකීර්ණය ලෙස භාවිත කළ මෙම පැරණි ගොඩනැගිල්ල පසු කාලයෙහි මහනුවර උසාවි සංකීර්ණය ලෙස භාවිතයට ගැනීය. වර්ෂ 2007 දී දළදා පූජා භූමියට නොගැළපෙන උසාවිය පිහිටුවා ගැනීමට පූජා භූමියට පරිබාහිරව පවතින මාලිගා භූමියක් ලබා දෙන පොරොන්දුව මත ශ්‍රී දළදා මාලිගය සතු දේපොළක් වන මෙම දෙමහල් ගොඩනැගිල්ල යළි මාලිගයට පවරා දෙන ලෙස නිලංග දෑල දියවඩන නිලමේ රජයට ඉල්ලීමක් යොමු කළේය. එයට ප්‍රතිචාර ලෙස මෙම ගොඩනැගිලි පරිශ්‍රය ශ්‍රී දළදා මාලිගාවට පවරා දෙනු ලැබීය.
මෙම අධිරාජ්‍ය යුගයේ ගොඩනැගිල්ල භාවිතව ලොව රටවල් 17ක් තුළ ථේරවාද බුදු දහම විකාශනය වූ ආකාරය පෙන්නුම් කරන බෞද්ධ කෞතුකාගාරයක් ගොඩනැගීය. එය වර්ෂ 2011 මැයි මාසයේ ජනතා ප්‍රදර්ශනයට පත් කළේය.
බෞද්ධ දර්ශනය විවිධ සමාජීය, ආර්ථික, සංස්කෘතික හැඩතලවල හැලහැප්පෙමින් ලොව තුළ විකාශය වූ ස්වරූපය පිළිබඳව පර්යේෂණයක යෙදෙන්නෙකුට ඒ සඳහා භාවිත කළ හැකි ලොව ‘ප්‍රථම සහ එකම’ කෞතුකාගාරය ශ්‍රී දළදා මාලිගා ලෝක බෞද්ධ කෞතුකාගාරයයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය, ජපානය, චීනය, කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මියන්මාරය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය, මලයාසියාව, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ‘පවතින සහ පැවති’ බෞද්ධ දර්ශනයේ විකාශය මෙම කෞතුකාගාරය තුළ ශාස්ත්‍රීයව ප්‍රතිරූපණය කර ඇත. ලෝක බෞද්ධ කෞතුකාගාරය ගොඩනැගීමට ඒ ඒ රටවල් දායකත්වය සැපයීය. එය රුපියල් බිලියන 1.2 ක් හෙවත් ලක්ෂ 12000ක පමණ ආයෝජනයකි.