සලඹ සැලෙන මලවි මඬල...
ඉඟි පාන නර්තන පීඨය


ලොවක් මවිතයට පත් කළ, ලොවක දෑස් නළවන හෙළයේ මහා මංගල්ලය සෙංකඩගල ඇසළ පෙරහර මංගල්ලයේ විකුමන් පාන උඩරට සම්ප්‍රදායේ කලා ශිල්පවලට හිමි වන්නේ අද්විතීය පිළිගැනීමකි.
පෙරාතීතයේ ශාන්තිකර්ම සදහා භාවිත කළ ‘වෙස් නැටුම’ ඇසළ පෙරහරේ පූජෝපහාර පෑමට සහ විචිත්‍ර බව උපැදවීමට පෙරහරට පැමිණෙයි. පෙර කල වෙස් නැටුම් ශිල්පීන් බහුල ව රට තුළ සිටියද මේ වන විට පරිණත ශිල්පීන්ගෙන් පසුව දෙවන පෙළක ශිල්පී හිඟකමක් දක්නට ලැබෙයි. සමකාලීන සමාජයේ ජීවත් වන උඩරට පාරම්පරික ප්‍රවීණ කලා ශිල්පීන්ගේ දරුවන් ආර්ථික ප්‍රතිලාභ සහ සමාජ පිළිගැනීම් සහිත රැකියා සොයා සිය පාරම්පරික උරුමය හැර යෑම මෙයට බලපාන ප්‍රධාන සාධකයයි. එබැවින් ශ්‍රි දළදා මාලිගාවේ පමණක් නොව, සෙසු බෞද්ධ සිද්ධස්ථානවලට ද වාර්ෂිකව පවත්වන සංස්කෘතික මංගල්ල සහ පූජා පිළිවෙත් පවත්වා ගෙන යෑම දැන් අභියෝගයට ලක් වී ඇත. එයට පිළියම් ලෙස ‘පිළිතුරක් නොපෙනෙන මානයක හෝ නොමැති බව’ පැහැදිලි ව අවබෝධයට ගන්නා නිලංග දෑල දියවඩන නිලමේ සිය නායකත්වය ලැබ දුන් පළමු දළදා පෙරහර මංගල්ලයේ සිට පියවරෙන් පියවර මේ ගැටලූවට ස්ථිරසාර පිළිතුරක් සොයමින් සහ සකසමින් සිටියේය.
ශිල්පීන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන පරිදි එකී ශිල්පීන්ගේ ජීවන තත්ත්ව නගාලීම සහ සමාජ පිළිගැනීමක් හැදෙන පරිදි ශිල්පීන් සමාජානුයෝනය කිරීම මෙම සුභාවිත ශිල්ප පිළිබඳ ව නව පරම්පරාව අභිප්‍රේරණය කර ගැනීමේ උපායික මාර්ගය බව හඳුනා ගනු ලැබීය. එම යථාවබෝධයෙන් මෙරට අධ්‍යාපනඥයින් සමඟ සිදු කළ දීර්ඝතර සහ දුෂ්කර තර සාකච්ඡා ආවලියකින් පසුව පාසල් විෂය නිර්දේශයට ‘ශ්‍රි දළදා පෙරහර’ ඇතුළත් කර එමගින් නව පරම්පරාවට පෙරහර සම්ප්‍රදාය පිළිබඳ ව අවබෝධයක් ලබා දීමට කටයුතු යොදා එයින් නොනැවතී ශ්‍රි දළදා මාලිගාවේ පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියට අනුබද්ධිතව වර්ෂ 2016 දී උඩරට නර්තන පීඨය ද පටන් ගැනීය. පෙරහර නර්තනයට පමණක් සීමා නොවී ජාත්‍යන්තරය ජයගත හැකි ප්‍රාසංගික කලාකරුවෙකු බිහි කිරීම දක්වා අවැසි විෂයගත අධ්‍යාපනය හා විෂය පරිබාහිර අධ්‍යාපනය ද ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ද නර්තන පීඨය ශාස්ත‍්‍රාලීන්ට ලබා දෙයි. එය ලෝකය සමඟ සබඳතා ගොඩනගන පාලම බව ශාස්ත්‍රාලීන් අවබෝධයට ගනී. එමෙන් ම විශිෂ්ට ශිල්පියෙකු බිහි කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලෙස දේශන ශාලා, නර්තන ශාලා, නේපථ්‍යාගාර, පොත් ගුල්, විවේකාගාර, ශ්‍රව්‍ය දෘශ්‍යාගාර ඇතුළු අධ්‍යයන කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිපූර්ණ ගොඩනැගිලි පද්ධතියක් ද උඩරට නර්තන පීඨයේ ගොඩනගා ඇත.
ඉන්දීය මූල්‍ය ආධාර යටතේ වර්ෂ 2018 දී ගොඩනැගීම් පටන් ගත් ගොඩනැඟිලි සංකීර්ණය 2022 දී සෞන්දර්ය අධ්‍යයන පීඨයක පවතින සියලූ අංගෝපාංගයන්ගෙන් සජ්ජිත ගොඩනැගිලි පද්ධතියකට පත් විය. මෙහි දී අධ්‍යාපනික විද්‍යාර්ථීන්ගෙන් සහ පාරම්පරික විෂය ප්‍රාමාණිකයන්ගෙන් ශාස්ත්‍රාලීන් ශිල්ප හදාරයි. මෙම හැදෑරීම්වල කූටප්‍රාප්තිය ලෙස ශාස්ත‍්‍රාලියෝ ‘ඉඟි’ නර්තන ප්‍රසංගයේ ශිල්ප පාති. එය ප්‍රාසංගික කලාකරුවෙකු ලෙස ශිල්පීන් දොරට වඩින කලඑළි මංගල්ලය යැයි පැවසීම අර්ථ සම්පන්න වේ.
නිලංග දෑල දියවඩන නිලමේ ප්‍රාර්ථනා කරන පරිදි උඩරට සාම්ප්‍රදායික නර්තනය ප්‍රගුණ කරන ශාස්ත්‍රාලීන් ‘පෙරහර සහ පින්කම්’ උත්සවවලට පමණක් සීමා නොකොට ජාත්‍යන්තර වේදිකාව ජය ගන්නා ශිල්පී පරම්පරාවක කුසලතා විදහා දක්වන්නන් බව ප්‍රදර්ශනය කිරීම ‘ඉඟි’ නර්තන උත්සවාලංකාරයේ යටි පෙළ වේ.