ඉර මල පිපෙයි...
යතුර භාරගැනීම

“උතුම් දළදා හාමුදුරුවන් කෙරේ ඇති ශ්‍රද්ධාව හා භක්තියත්, ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති ප්‍රාණසම ගෞරවයත්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ඇති ජීවන කැපවීමත් පණනල පවතින තුරු ගිලිහෙන්න නොදෙනෙමි” යැයි සිත් සන්තානයෙහි උපදවා ගත් නිලංග දෑල 2005 ජූලි 01 දින ශ්‍රී දළදා මාලිගාවේ 19 වන දියවඩන නිලමේ ලෙස පදවිප්‍රාප්ත විය.
සිය යෞවනයේ දී ම සමාජ,ආගමික, සංස්කෘතික මෙහෙවර උදෙසා ශ්‍රමය හා ධනය කැප කළ තරුණ නිලංග දෑල සිය විසි දෙහැවිරිදි වියේ දී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරණයට පෙනී සිටියේය. එහි දී ධන බලය හමුවේ ගුණවන්ත නිලංග දෑල පරාජය පිළිගත්ත ද එයින් නොසැලී මෙරට ඉතිහාසයේ ළාබාලතම බස්නායක නිලමේ ලෙස 1999 වසරේ දී සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ පදවියට පත් විය. යළි වර්ෂ 2004 දී ද නිලංග දෑල බස්නායක නිලමේ සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පදවියට දෙවන වතාවට ද පත්වීමට භාග්‍යය ලැබීය.
සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පදවියට පත්වීමෙන් අනතුරුව සසරින් ගෙනෙන කඳ සුරිඳු භක්තියට වර්ෂ 2001 යළි පැවති රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරණයට පෙනී සිටියේය. එහි දී දෛවෝපගතව නිලංග දෑල බස්නායක නිලමේ රුහුණු මහ කතරගම දේවාලයේ නව බස්නායක නිලමේව නිතරගයෙන් තේරී පත් විය.
දේවාල වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාව තුළ පිහිටි ප්‍රධාන මහ දේවාල 03න් 2කම බස්නායක නිලමේ පදවියට නිලංග දෑල බස්නායක නිලමේ පත් විය. ඉක්බිතිව පවිත්‍ර ව පේවෙමින් සබරගමු මහ සමන් දේවාලයෙහි පෙරහර දින 96ක් ද රුහුණු මහ කතරගම දේවාලයෙහි පෙරහර දින 75ක් ද සුසංවිධාන කර වීදි සංචාරයේ යෙදීමට නිලංග දෑල බස්නායක නිලමේ භාග්‍යවන්තයෙකු විය.
බස්නායක නිලමේවරයකු ලෙසින් පෙර ලත් අත්දැකීම් සමුදාය භාවිතව ධවල ප්‍රතිපත්ති යෝජනාවලියක් ප්‍රකාශයට පත් කරමින් වර්ෂ 2005 දී මහෝත්තම දළදා හාමුදුරුවන්ගේ ගිහි භාරකාරීත්වයට පත්වීමට 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥ පනතට අනුව ශ්‍රී දළදා මාලිගාව සඳහා දියවඩන නිලමේවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද හිමිකම ඇති බහුතරයකගේ ආශීර්වාදය උපරිමයෙන් හිමි කර ගෙන හැකියාව ලද්දෙහිය. මෙය එකම කාලසීමාවක් තුළ සබරගමු මහ සමන් දේවාලය සහ රුහුණු මහ කතරගම දේවාලය යන මහ දේවාල යුග්මයෙහි බස්නායක නිලමේ පදවියට ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවියට ද එකවර පත්වීම මෙරට විහාර හා දේවාල ඉතිහාසයෙහි ඓතිහාසික පදවි ප්‍රාරාප්ත වීමකි.
නිලංග දෑල දියවඩන නිලමේ වර්ෂ 2005 සිට වර්ෂ 2015 දක්වා සිය ප්‍රථම පදවි කාලසීමාව සපුරා යළි වර්ෂ 2015 දී දෙවන වතාවට ද දියවඩන නිලමේ පදවියට පත් විය. ඒ දශක දෙකක කාලසීමාව තුළ නිලංග දෑල දියවඩන නිලමේ ශ්‍රි දළදා වහන්සේ උදෙසා පෙරහර දින 220ක් සංවිධානය කර වීදි සංචාරයේ යෙදීමට පින්වන්ත විය.
නිලංග දෑල දියවඩන නිලමේගේ රාජකාරි වික්‍රමවල පෙර දැක්ම ලෙස 2005 ජූලි මහේ රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහර ද 2005 අගෝස්තු මහේ සිරි දළදා පෙරහර ද 2005 අගෝස්තු මහේ ම සබරගමු මහා පෙරහර ද එකම වර්ෂයක මාස දෙකක් තුළ සාර්ථක ව නිමාවට පත් කර පෙන්නුම් කළේ ය.
මේ අනුව නිලංග දෑල දියවඩන නිලමේ සිය ජීවිත කාලය තුළ දින 391ක් පෙරහරවල වීදි සංචාරය කර ඇති අතර, එය ලාංකේය පෙරහර ඉතිහාසය තුළ විද්‍යමාන වන දුලබ අරුමයකි.